නිදි ඇඳ

තනියම ජීවත්වෙන මගේ ජීවන රටාව දවසෙන් දවස වෙනස්වුනේ කලාතුරකින්. ඒ යමක් මිලදී ගැනීමට නගරයට ගියොත් නැතිනම් කලාතුරකින් මා දැක්මට යාළුවෙක් හෝ නෑදෑයෙක් ආවොත් පමණයි. අනික් දවස්වල ගෙදරත් වටපිටාවෙත් කෙරෙන වැඩ ටිකක් හැර මම දවසේ වැඩි කොටසක් ගෙවන්නේ මගේම ඔළුගෙඩිය ඇතුලේ. ඔළුවෙන් ඉඳහිට මතුවී එන ‘හොඳ’ අදහසක් ලැප්ටොප් එකේ සැකසූ කවි/කතා ලයිස්තුවකට ඇතුල් කළේ කැමැත්තෙන්ම නෙවෙයි. බොහෝවිට ඒවා ඔළුවේ ඉපදී, ඔළුව ඇතුලෙම සැරිසරා අවසානේ මියයනවා.

නමුත් මගේ අදහසුත් ජීවිතෙත් පුරුදු මාර්ගෙන් මුළුමනින්ම පිටතට තල්ලුකර දමන්න මෑත අතීතේ සිද්ධියකට හැකිවුනා

ඒ සෙනසුරාදත් වෙනදා වගේමයි. එදා හිතට ආ ‘හොඳ’ අදහස් කිහිපයක් මම අනාගත පාවිච්චියට ලැප්ටොප් එකේ සටහන් කරගත්තා. එදාම ඒවා කවි හෝ කතා ලෙස ලියන්න පටන්ගන්නවත් මට හිත එකඟ කරගන්න බැරිවුනා. ඒ වෙනුවට රෑ කෑමෙන් පස්සේ අඳුරු බැල්කනියේ වාඩිවෙලා සිංදු ඇහුවේ දවසට සන්සුන් නිමාවක් ලබා ගන්නා අටියෙන්.

රෑ දහය වෙන්නත් ඉස්සර මම බාගෙට කියවූ පොතකුත් අරගෙන නිදන කාමරයට ගියේ ‘හෙටවත් යමක් ලියනවා’ යයි සිතමින්. වෙනදා පුරුද්දට මම කොට කලිසමයි බැනියමයි ගලවලා එක අතකින් එල්ලාගෙන දොර පැත්තකට ඇද්දේ දවල් ඇඳුම් දොරේ පිටුපසු කොක්කේ එල්ලා සරම ඇඳගන්න අදහසින්. නමුත්… කොට කලිසමකුයි බැනියමකුයි ඒ වෙලවෙත් කොක්කේ එල්ලී තිබුනා.

මම වහාම අතේ තිබුන ඇඳුම් දිහා බැලුවා. ඒවා තාමත් මගෙ අතේ. කොක්කේ තිබුන ඇඳුම් පාටෙනුත් මෝස්තරයෙනුත් අතේ තිබුන ඒවාමයි. එක ජාතියේ ඇදුම් කුට්ටම් දෙකක් නැති මම බිම බලාගෙන කාමරෙන් එලියට ආවේ නිදන්න යන ගමන නැවතත් මුල ඉඳන් පටන්ගන්න හිතාගෙන. යමක් වැරදිව හෝ අස්වාභාවිකව සිදු වෙන අවස්ථාවක එයට තුඩුදුන් ක්‍රියාවලිය මුල සිට නැවත කිරීමට මම පුරුදුව හිටියා. පාසැලේ ගණිත පාඩම් වලදී ඉගෙනගත්ත ඒ මූලධර්මය මට අමතක කරන්න අමාරුයි.

ලයිට් නොදා ගෙදරට පිටින් එන නොපැහැදිලි එලියෙන් මම බැල්කනියට නැවතත් ගියා. එතන මා පෙර වාඩිවී සිටි පුටුවේ නැවත වාඩිවෙනවිටයි මට ඒත්තු ගියේ මා බාගෙට නිරුවත් බව. කලිසමයි බැනියමයි තවම මගෙ අතේ! තත්පර කීපයකට පසු මම නැවතත් නිදන කාමරේට ගියා. දොර පිටුපස ඇඳුම් එල්ලා, සරම ඇඳගෙන ඇඳට ගොඩවුනේ කල්පනාවෙන්.

මම ඇත්තටම දොර පිටිපස තව ඇඳුම් කුට්ටමක් දැක්ක ද? මම දැක්කේ ‘හීනයක්’ ද? මගෙ මොලේ යම්කිසි අඩුපාඩුවක් තියෙනව ද? මම ඇත්තටම මුල සිට ක්‍රියාවලිය නැවත රඟපෑවද? එහෙම රඟපාන්න හේතුව මොකද්ද?

රෑ මොන ප්‍රශ්න තිබුනත් මම උදේ නැගිට්ටේ ප්‍රාණවත් ඇඟකින්. මට හොඳට නින්ද ගිහින්! පසුගිය දවස් කීපේ වගේ නෙවෙයි අද උදේ කෑම ඉවරකළ වහාම මම ලැප්ටොප් එක ඉස්සරහ වාඩිවෙලා ලියන්න පටන්ගත්තා. පළමු වචන කිහිපය ලියවුනේ ඉබේම, මොලේ පාවිච්චි නොකර වගේ.
    “තනියම ජීවත්වෙන මගේ ජීවන රටාව දවසෙන් දවස වෙනස්වුනේ කලාතුරකින්. ඒ යමක් මිලදී ගැනීමට නගරයට ගියොත් නැතිනම් කලාතුරකින් මා දැක්මට යාළුවෙක් හෝ නෑදෑයෙක් ආවොත් පමණයි. අනික් දවස්වල ගෙදරත් වටපිටාවෙත් කෙරෙන වැඩ ටිකක් හැර මම දවසේ වැඩි කොටසක් ගෙවන්නේ මගේම ඔළුගෙඩිය ඇතුලේ. ඔළුවෙන් ඉඳහිට මතුවී එන ‘හොඳ’ අදහසක් ලැප්ටොප් එකේ සැකසූ කවි/කතා ලයිස්තුවකට ඇතුල් කළේ කැමැත්තෙන්ම නෙවෙයි. බොහෝවිට ඒවා ඔළුවේ ඉපදී, ඔළුව ඇතුලෙම සැරිසරා අවසානේ මියයනවා”
ලියන්න තිබූ භාදකයක් ඉවත් වී ඇති බවක් මට දැනුනා. ඒ නිසාමයි ලියවුන ඡේදය නැවත කියෙවීමෙන් මම විශාල සතුටක් ලැබුවේ. තේ පෝච්චියකුත් රෝස්පාන් කෑලි කිහිපයකුත් ලඟ තබාගෙන මම දවල් කෑම වෙලාව පහුවෙනතුරුත් නිහඬව දිගටම ලිව්වා.

*******

රෑ කෑම ලෑස්ති කරන්න මට වැඩි වෙලාවක් යන්නෙ නෑ. ගෙදර තියෙන කන්න කැමති දේ කුඩා සාස්පානකට දමා එකට ඉවීමෙන් සංතුලිත කෑමක් සාදා ගැනීමට වගේම භාජන නඩත්තුවටත් පහසුයි. මගෙ පවුලේ අය ‘ගුලෑශ්’ ලෙස හැදින්වූ මේ කෑම මගේම කම්මැලිකම නිසා නිපැයුන කෑමක් ලෙසයි දැක්කේ. හාල්, පරිප්පු, එළවලු, මස්මාළු එකට උයා කෑමට ඔවුන් කැමති නෑ. නමුත් ඒ අය සේරම පිටරට නිසා ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.

මම නාන්නේ කෑම ලෑස්තියෙන් පසුවයි. නාලා, කොට කලිසමයි බැනියමයි ඇඳගෙන සිංදුවක් අහන්න බැල්කනියේ වාඩිවූ වෙලාවෙයි ඉස්සරහ දොරට ගැහන සද්දේ ඇහුනේ. මගෙ අයියගෙ පුතා දවස් කීපෙකට සැරයක් එන්නේ මා සමග ‘කයිවාරු ගහන්න’ ආසයි කියලා. නමුත් මට හොඳටම විශ්වාසයි ශාන්ත එන්නේ මගෙ සැපසනීප බලන්නත් අඩුපාඩු තියෙනවානම් ඒවා සපුරාදෙන්නත් බව.

“බාප්පු බීර එකක් බොමුද?”

“ගෙදර ඉවරයි බං! ටවුමට ගියෙත් නෑ”

“පොඩ්ඩක් ඉන්ට…”

කොල්ලා කාරෙකට ගිහින් ආපහු ආවේ බීර කෑන් හයකුත් අරගෙන.

“හොඳ වෙලාවට කාරෙකේ තිබුනා”

මූට හොඳට බොරු කියන්න පුළුවන්! කාරෙකේ සීතල බීර? එන ගමන් කඩෙන් අරගෙන ඇවිත් තියෙන්නේ. මා ගැනම හිතලා.

“චියර්ස්!”

“කොහොමද බාප්පු ලියන වැඩේ? කවද්ද පොතක් එලියට එන්නේ?”

මට හිනා ගියා.

“පුතාට මං ඉස්සරත් කියලා තියෙනවා නේද ලෝකේ තියෙන පොත් ජාති දෙක? සමහර පොත් හොඳයි කියවන්ට. මගෙ එව්වා හොඳ ලියන්ට! කවුරුවත් කියෙව්වත් නැතත් මට ප්‍රශ්නයක් නෑ…. සල්ලිත් නෑ තමා, හැබැයි ලියලා ලැබෙන සන්තෝසේ මට වටිනවා!”

අපි තව පැය බාගයක් විතර පුතාගෙ වැඩ ගැන කතා කළා. ලඟදී පටන්ගත්ත ව්‍යාපාරයක් නිසා කතා කරන්න හුඟක් දේ තිබුනා. නැවත මගෙ ජීවිතේ පැත්තට කතාව යොමුවුනේ දෙවෙනි බීර කෑන් එක සමගයි.

“ඊයෙ රෑ මාර කෙලියක් වුනා ශාන්ත… ඒක ගැන කතා කරන්න කෙනෙක් නැතුව හිටියේ…”

“මොකද්ද බාප්පු?”

මට ටිකක් කල්පනා කරන්නවුනා හිත එකලස් කරගන්න.

“ඉස්සරවෙලාම… මට පිස්සු හැදිලා කියන්න බෑ - හොඳද? ඒක මං දැනටමත් දන්නවා! …මේකයි වුනේ. මම බැලකනි එකේ ඉඳන් සිංදුවක් එහෙම අහලා නිදන්න ලෑස්තිවුනා…”

ඊයෙ රෑ සිද්ධිය මම සම්පූර්ණන්ම කිව්වා. දොර පිටිපස්සේ තිබුන ඇඳුම් වගේම ආයෙත් බැල්කනියේ ගමන පටන්ගත්ත හැටිත් විස්තර කරා. ශාන්ත බීර උගුරක් අරගෙන විනාඩියක් කල්පනා කරා ප්‍රතිචාරයක් දෙන්න ඉස්සර.

“බාප්පුට මේ වගේ දෙයක් මීට ඉස්සරත් වෙලා තියෙනවද?” මම ඔළුව හෙලෙව්වා.

“… හොඳටම ශුවර් ද බැල්කනියේ නින්ද ගියෙ නෑ කියලා?”

“උඹ කියන්නේ මං දැක්කේ හීනයක් කියලද?”

ශාන්ත හිනාවුනා.

“ඒක අනික් උත්තර වලට වැඩිය ටිකක් ලොජිකල් නේද? අනික් උත්තර… එක - බාප්පු කියන්නේ බොරු. මං හිතන්නෙ නෑ හරි උත්තරේ ඒකයි කියලා… දෙක - බාප්පු දොර පිටිපස්සේ තියෙනවා වගේ දැක්කේ වෙන ඇඳුම් කට්ටලයක්… ඒකේ ඇත්ත නැත්ත මට කියන්ට බෑ. බාප්පු කියනවානම් අතේ තිබුන ඇඳුම් මයි එල්ලිලත් තිබුනේ කියලා ඒක මට පිළිගන්ට වෙනවා… තුන්වෙනි උත්තරේ - දොර පිටිපස්සේ දැක්කේ හෙවනැල්ලක්; එල්ලෙන ඇඳුම් නෙවෙයි. ලයිට් නිවලා නම් ඒකත් හරියන පාටක් නෑ! හතර - බාප්පුගෙ ගණිත විසඳුම… ආයෙ බැල්කනි ඇවිත් තප්පර කීපයක් වාඩිවෙලා ඉඳලා ආපහු යනකොට දොර පිටිපස්සේ ඇඳුම් නෑ! කවුද අප්පා ඔය ක්‍රමය කියාදීපු ගුරා?”

“මං කියන්නේ, ලොජිකල්ම උත්තරේ පුටුවේ නින්ද ගිහින් ඉඳලා තියෙන්නේ කියන එක නේද? … මං ටොයිලට් ගිහින් එනකම් හිතලා බලන්ට - මගෙ පුංචි මොලේට ඊට වඩා යමක් පෙනෙන්නෙ නෑ”

ශාන්ත එයාගෙ බීර කෑන් එක කනප්පුව උඩින් තියලා නැගිටලා ගියා. මට ලොකු සතුටක් දැනුනා එයාගෙ තර්කානුකූල ප්‍රශ්න විසඳීම ගැන. මගෙ සතුට තවත් වැඩිවුනේ කොල්ලා මගෙ කාමරේට රිංගලා දොර පිටිපස්සෙ මොනවද තියෙන්නේ කියලා සෝදිසි කිරීම ගැන. කොයි තරම් තර්කානුකූල වුනත් වැඩිහිටි මගේ ආරක්ෂාවත් එයාට වැදගත්.

අපි ඒ ගැන ආයෙ සාකච්ඡාකළේ නෑ. ශාන්ත පිටත්වෙලා වැඩි වෙලාවක් මම ඇහරලා හිටියෙ නෑ. ලෑස්ති කරගත් ‘ගුලෑශ්’ කාලා පිඟාන් සාස්පාන් සෝදලා විනාඩි විස්සකට විතර පස්සෙ නිදිමත දැනුනා. ලයිට් නිමලා කාමරේට ගිහින් පුරුදු විදිහට කොට කලිසමයි බැනියමයි ගැලෙව්වේ ශාන්තගෙ උත්තර ගැන මෙනෙහිකරමින්. ‘අද මම කාමරේට ආවේ සිහිනෙන් නෙවෙයි!”.

මගේ සතුට මුළුමනින්ම විනාශවී ගියේ දොරේ පිටිපස එල්ලී තිබුන කලිසමයි බැනියමයි මෙන්ම එවිටත් ඇඳේ තද නින්දේ සැතපෙන මා දැකලා.